මාර්තු, අප්‍රේල්, මැයි විදුලි බිලට ලැබෙන සහනය

0
603

2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ විදුලි බිල්පත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවත් යෝජිත සහන සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බවත්ය.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ ( පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන ) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය ඊයේ (15) තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇත.

ඒ අනුව එම මාස 3ට ලබාදුන් බිල්පත් අනුව යම් පාරිභෝගිකයෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.