ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්න – ජනපතිගෙන් දේශීය ඉංජිනේරුවරුන්ට ආරාධනා

0
596

නාගරික සහ ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ආරාධනා කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී

විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය සහ තීරණ ගැනීම යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වලින් ජනතාවගේ අවශ්‍යතා ඉටු වී නොමැති බැවින් එම සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත පෙරළියේදී දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බවත් ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

තමන් කෙරෙහි ජනාධිපතිවරයා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දීමට සූදානම් බව එහිදී ඉංජිනේරුවරු සහතික වී තිබේ.