ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට කොවිඩ් වැළඳුනු මවක් නිරෝගී දරුවකු බිහිකරයි

0
307

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් නිරෝගී දරුවෙකු බිහි කර තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී මෙම සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

ඒ අතරට ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද එක්ව සිටීම විශේෂත්වයකි.

මව කොවිඩ් ආසාදිතයෙකු වීම නිසා ඇයගෙන් විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ PCR පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර ඇත.

ඒ අනුව කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

වෛද්‍යවරුන් පවසන්නේ, නිරෝගී තත්ත්වයේ සිටියත් දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් 19 පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි.

මේ වන විට වෙනම කාමරයක රඳවා සිටින මව සහ දරුවා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වෛද්‍යවරුන් ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරයි.