ලෙබනනයේ සිදු වූ පිපුරුමෙන් මිය ගිය පිරිස 100 ඉක්මවයි තුවාල ලැබූවන් 4000 ක්

0
453

ලෙබනනයේ බේරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව තිබේ. මෙම පිපිරීම අඟහරුවාදා 18:00 (GMT 15:00) ට පසුව සිදුවී ඇත.

විදෙස් මාද්‍ය වාර්තා කර තිබුනේ පිපිරීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 240 ක දුරකින් පිහිටි දූපතක් වන සයිප්‍රස් ප්‍රදේශයට පවා එහි ශබ්දය ඇසී ඇති බවයි.

මෙම පිපිරීමෙන් මිය ගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇති අතර විදෙස් වාර්තා පැවසුවේ 4000 කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.

පිපිරීමෙන් අනතුරුව ඇති වූ දුමාරයෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පිපිරීමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලෙබනනයේ බීරූට් වරායේ ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති අතර එහි අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් ද තිබී ඇත.

සුන්බුන්වලට සිර වූ පිරිස සොයා තවදුටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ අතර පිපිරීම නිසා විශාල ව්‍යසනයක් සිදුව ඇතැයි සහන සේවාවල නිරත රතු කුරුස සංවිධානය පවසයි.

පිපිරීමෙන් අනතුරුව හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් යොදා ගෙන ඇත.

මේ අතර විෂ වායු මගින් සිදුවිය හැකි හානි අවම කිරීමට බීරූට් අගනුවර වැසියන්ට මුව ආවරණ පැළැඳ නිවෙස්වලටම වී සිටින ලෙසට රජය උපදෙස් ලබා ඇතැයි සඳහන්.

මෙම පිපිරීම හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස සේවය කරයි.