ජපුරේ මහැදුරු ගංගානාත් දිසානායකයන් නික්ම යයි

0
367

අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

1958 ජූලි 1 වන දා කොළඹදී උපත ලද දිසානායක මහතා පසුගිය 11 වන දා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට 62 වැනි වියේ පසු වූ දිසානායක මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එතුමා සරසවි අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වී සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලද අයෙකි.

පසුව එම විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු ලෙස සේවයට බැඳෙන දිසානායක මහතා දශක 3කට ආසන්න කාලයක් එහි මාහාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙසත්, රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක සභාපතිවරයා ලෙසත් ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මාහැගි මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ශ්‍රාස්ත්‍රීය ලිපි හා ග්‍රන්ථ රැසක් රචනා කළ ගංගානාත් දිසානායක මහතා පුවත් පත් රැසකටම තීරු ලිපි සපයමින් ජනමාධ්‍ය සමග ඉතා සමීප සබඳතාවක් පැවැත්වූ විද්වතෙකි.