මෙරටට පැමිණි රුසියානු ජාතික පුද්ගලයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී සිදුකළ දෙවන PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමග හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එම පුද්ගලයා පසුගිය දා මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ ඇති අතර, ඔහු සමග තවත් පුද්ගලයින් 13 දෙනෙක් දිවයිනට පැමිණ ඇත.
රුසියානු ගුවන් යානයක කාර්ය මණ්ඩල සේවකයෙක් වන මෙම පුද්ගලයා ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමග මාතර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඔහුව රෝහල් ගත කළ බව මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසුරිය මහතා පැවසීය.
එම රුසියානු ජාතිකයින් පිරිස මාතර, පොල්හේන ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිට ඇති අතර, එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩලය ද පීසීආර් පරීක්ෂණය හා නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ආසාදිත පුද්ගලයා බාහිර සමාජයට ගොස් නැති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසයි.