චන්දිමාල් සහ තිසර යුද හමුදාවේ මේජර් නිලයට උසස් කෙරේ.

0
461

වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් යුද හමුදාවේ මේජර් නිලයට උසස් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව මෙම උසස්විම් ලබා දී ඇත්තේ අද (9) උදෑසන අණදෙන නිලධාරි කාර්යාලයේදී පැවති සරල උත්සවයකදීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට නිළ ලාංඡනය පැලදවූ අතර හමුදාපති වරයා ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරමින් සිය සතුට පළ කළේය.

මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන අතර, මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරයි.

මෙම අවස්තාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් චන්දන මාරසිංහ (ශ්‍රී ලංකා යුධෝපකර රෙජිමේන්තුව), යුද හමුදා ක්‍රිකට් උප සභාපති බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර යන මහත්වරු සහභාගී විය.