දළදා මාළිගාවට එද්දි මෙහෙම එන්න

0
306

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වැඳපුදා ගැනීම සඳහා පැමිණිමේදී ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

එමෙන්ම සෙසු බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකකර ඇති ප්‍රදේශවල වෙසෙන පිරිස් දළදා මාළිගය වෙත ඇතුළත් කරගැනීම තාවකාලිකව නතරකිරීමට පියවරගෙන ඇති බව ද දියවඩන නිලමේවරයා පැවසීය.

කොවිඩ් -19 වෛරස තත්ත්වය හමුවේ දළදා මාළිගය වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම හා චිරාගත සම්ප්‍රදායානුකූලව පැවත එන දළදා පූජෝපහාර තේවා වත්පිළිවෙත් නොකඩවා පවත්වාගෙනයාම වෙනුවෙන් මෙම පියවර ගෙනඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා පෙන්වා දෙයි.

මුඛ ආවරණ පැළදීම, දෑත් සේදීම, ශරීර උෂ්ණත්වය පරික්ෂාකිරීම ආදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසිආකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බැතිමතුන් මාළිගා පරිශ්‍රයට ඇතුළත් කරගැනීම සිදුකෙරෙන බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටි.