ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

0
315

පැළ මිලියන 2ක් සිටුවීමට සැලසුම් කෙරෙන “හුස්ම දෙනතුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ විය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

“සෞභාග්‍යයේ දැක්ම”රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වන ගහනය, භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට මෙයින් අපේක්ෂා කෙරේ. 

ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉදිරි වසර 5 ඇතුළත පැළ මිලියන 2ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුදහමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදා දී ඇත.