ණය බරින් නිදහස් වෙන්න ගංජා වවමු – ඩයනාගෙන් පර්ලිමේන්තුවට යෝජනාවක්

0
299

ශ්‍රී ලංකාව තුළ ඖෂධයක් ලෙස කංසා වගාකර අපනයන ආදායමින් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන බව සමඟි ජනබලවේගයේ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“කංසා අප රට තුළ වගා කරලා, අපිට පුළුවන් මේ ණය බරින් නිදහස් වෙන්න. හැමදාම මේ රට බංකොළොත් කිය කිය ඉන්න විපක්‍ෂයේ අයටත් මට කියන්න තියෙන්නේ, සර් ෆේල්, සර් ෆේල් කියනවා. ඒක තමයි අපි 20 ගෙනල්ලා සර්ට බලය දීලා තියෙන්නේ”

“එය රජ්‍ය මැදිහත් වීමෙන්, වෛද්‍ය විද්‍යාත්මක භාවිතයක් සඳහාම පමණක්, ආර්ථිකය ශක්තිමක් කිරීමට බව එක හෙළාම සභාව හමුවේ නැවත වරක් ප්‍රකාශ කරනවා”

“ලංකාව ඝර්ම කළාපීය රටක් වීම නිසා බොහෝ ඖෂධ වගාවන් නිසි පරිදි කර ඒවා අපනයන කර විදේශ විනිමය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. මේ වන විට නීතිවිරෝධී තත්ත්වයේ පවතින, එහෙත් ඖෂධයක් ලෙස නීත්‍යානුකූල බවත් සහිත කංසා හෙවත් ගංජා වගාව ඖෂධීය වගාවක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් ශක්තිමත් කර විදේශ විනියම උපයාගැනීමට මැදිහත්වීමක් කිරීමට යෝජනා කරනවා”

“අප මෙතෙක් අපනයන කළ තේ, පොල් රබර් වැනි ප්‍රධාන ආර්ථික බෝග අතරට ඖෂධ වගාවන් එකතු කරගැනීම වෙනත් රටවල් සමඟ සැසදීමේදී අවමව වාර්තා වෙනවා”

“ලෝකයේ වෙනත් රටවල් කංසා අපනයනයෙන් අතිවිශාල ආදායමක් ලබනවා. යුරෝපා ආයෝජන බැංකුවට අනුව ගෝලීය කංසා වෙළෙඳපොළ ඊළඟ දශකයේදී සියයට දහසකින් ඉහළ යන බවත් 2027 දී ඩොලර් බිලියන 140 ක් බවත් පුරෝකථනය කර තිබේ. ඉන් ඩොලර් බිලියන 57 ක් නීත්‍යානුකූල කංසාවලින් ලැබෙන බවත් ඉන් වැඩි කොටස උතුරු ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් සැපයෙන බවත් සඳහන් වෙනවා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.