රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත් කෙරේ.

0
258

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්කර තිබේ. 

අද (22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ 1948 අගෝස්තු මස 25 වන දින උන්වහන්සේ උපත ලබා තිබේ.

1959 මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ, 1960 මාර්තු මස 24 වන දින ලෝලුවාගොඩ මහේන්ද්‍රරාමාධිපතිව වැඩවිසූ දිසාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි වුහ.

1974 වසරේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද, 1976 දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධිය ද, 1976 දී පරියන්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබාගත් උන්වහන්සේ‍, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වු සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමිකර ගෙන කැලණිය සරසවියට ඇතුළත් විය.

පසුව 1982 දී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද , 1990 දී එම සරසවියේ දී පශ්චාත් උපාධි ආයතනයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගත්හ.

1969 ජුලි 22 වන දා කොළඹ, තොටලග කල්‍යාණී නදී උදකුක්බේප සීමාමාලකයේ දී උපසම්පදා ලැබූහ.

මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් රාමඤ්ඤ මහා නිකායේ 14 වැනි මහ නාහිමියන් ලෙසින් අද දිනයේ එම තනතුරට පත්කර තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමි අපවත් වීම හේතුවෙන් මහා නායක ධුරය පුරප්පාඩු විය.