මාර්ගයේ නයිට් රේස් පදින යතුරුපැදි වලට වැඩ වරදී

0
404

අනතුරුදායක ලෙස අධික වේගයෙන් ඊයේ (06) රාත්‍රි කාලයේ යතුරුපැදි ධාවනය කළ පිරිසක් මිරිහාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඊයේ රාත්‍රීයේ කිඹුලාවල හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර දක්වා ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට මිරිහාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබුණි.

එහිදී යතුරුපැදි 24ක් සමග පුද්ගලයින් 24 දෙනෙකු පොලිස් භාරයට ගැණුනි.

යතුරුපැදිකරුවන් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර යතුරුපැදි සියල්ල වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයටගෙන තිබේ.

අදාළ යතුරුපැදිවලින් මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ නියමිත ලියකියවිළි සහිත යතුරුපැදි මුදාහැරීමටත් නීතිවිරෝධී යතුරුපැදි සඳහා නඩු පැවරීමටත් නියමිතය.

මේ අතර විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.