පාකිස්ථාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

0
290

පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටි මොහොමඩ් අමීර් පාකිස්ථාන රූපවාහිනි ආයතනයක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කර තිබුණි.

ඒ අනුව වත්මන් පාකිස්ථාන ක්‍රිකට් කළමනාකාරීත්වය යටතේ තවදුරටත් ක්‍රීඩා කිරීමට තමාගේ අපේක්ෂාවක් නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ පාකිස්ථානයට පැමිණීමෙන් අනතුරුව සිය තීරණයට හේතුවූ කරුණු අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.

28 හැවිරිදි මොහොමඩ් අමීර් 2009 වසරේ සිට මේ දක්වා පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 36කට, එක්දින තරග 61කට සහ විස්සයි 20 තරග 50කට සහභාගී වී තිබේ.

ඊයේ (16) නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළේය.