නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ජපානය සහ ප්‍රංශයෙන් වාර්තා වෙයි

0
275

බි‍්‍රතාන්‍ය තුළ පැතිර යන, වඩාත් සීඝ‍්‍ර ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ ආසාදිතයින් පළමු වරට ජපානයෙන් සහ ප‍්‍රංශයෙන් ද හඳුනාගෙන තිබෙනවා. ජපානයෙන් එවැනි ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් මෑතකදී බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. 

එම ආසාදිතයින් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඔවුන්ගේ ආශ‍්‍රිතයින් සහ වෛරසය ව්‍යප්ත විය හැකි මාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අංශ කඩිනමින් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වනවා. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන්නන්ට ජපානය මේ වනවිටත් සංචාරක තහනමක් පනවා තිබෙනවා. 

ප‍්‍රංශයෙන් වාර්තා වූ, වඩාත් සීඝ‍්‍ර ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පළමු ආසාදිතයා පසුගිය 19 වනදා බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි ප‍්‍රංශ ජාතිකයෙක්. ඔහු ටුවර්ස් නගරයේ වෙසෙන ප‍්‍රංශ ජාතිකයෙකු වන අතර ඔහුට රෝග ලක්ෂණ නොමැති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වනවිට එම පුද්ගලයා ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. 

බි‍්‍රතාන්‍යය තුළ සීඝ‍්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය හේතුවෙන් එල් සැල්වදෝරය, ෆින්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් බි‍්‍රතාන්‍යයේ සංචාරකයින් සඳහා තාවකාලික තහනමක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට රුසියාව විසින් දෙසතියක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබෙනවා.