ශ්‍රී ලංකා සංචාරයට හිම වැසි මැද පුහුණු වන එංගලන්ත පිල

0
258

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එංගලන්ත කණ්ඩායම හිම වැසි මැදත් සිය පුහුණුවීම් කරගෙන යයි. මේ වනවිට එංගලන්තයේ හිම පතනය ආරම්භ වී ඇති නමුත් ක්‍රීඩාංගණයක මැද තණතීරු වටකරමින් උණුසුම් කූඩාරම් තනාගෙන එංගලන්ත කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙමින් සිටී.

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිය. එංගලන්ත කණ්ඩායම මේ වසරේ ජනවාරි මාසයේදීත් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය ආරම්භ වූ හෙයින් තරගාවලිය ආරම්භ නොකරම ආපසු සියරට බලා ගියේය.

වැසි සහිත සමයක ක්‍රිකට් පුහුණුවීම් කිරීම සඳහා ගෘහස්ථ පුහුණු ශාලා ලොව පුරාම ඇතත් ඒ කිසිවක තණකොළ සහිත ස්වභාවික තණතීරු නැත. එබැවින් ස්වභාවික තණතීරුමත පුහුණුවීම් කිරීම සඳහා එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා පිටියක තණතීරු වටකරමින් උණුසුම් කූඩාරමක් තනාගෙන පුහුණුවීම් කරයි.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය ජනවාරි මස 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.