හන්තාන ලැගුම්හලක අභිරහස් මරණයක්

0
388

මහනුවර, හන්තාන ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම ලැගුම්හලේ නාන කාමරයක් තුළ පුද්ගලයෙකුගේ මළසිරුරක් තිබෙන බවට එහි කළමනාකරු විසින් පෙරේදා (02 වැනිදා) පස්වරුවේ මහනුවර පොලිසිය දැනුවත් කර ඇත. එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී පොලිසිය දැක ඇත්තේ මියගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවත් නානකාමරයේ ජනේලයක රෙදි පටියක් ගැටගසා තිබූ බවත්ය.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක්, කාන්තාවන් දෙදෙනෙකුද සමග 31 වැනිදා රාත්‍රී මෙම ලැගුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති අතර 2 වැනිදා ඉන් පිරිසක් පිටත්ව ගොස් ඇත.

ඉන් අනතුරුව කම්කරුවෙකු එම පිරිස ලැගුම් ගත් කාමරයක නාන කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ මෘතදේහය දැක ඒ පිළිබඳ කළමනාකාරීත්වය දැනුවත් කොට තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 39 හැවිරිදි කනගරත්නම් මනිමන්නන් නමැති පුද්ගලයකු බව මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මියගිය තැනැත්තා සමග ආගන්තුක නිවාසයට පැමිණි අනෙක් තිදෙනා පොලිස් භාරයට ගෙන ඇත.

මෙය ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.