සිය විවාහය අතරතුර භාර්යාව විසින් සිදුකරන ලද ගේ දොර වැඩකටයුතු සඳහා වන්දි මුදලක් ගෙවන්නැයි චීනයේ බීජිං දික්කසාද අධිකරණය එරට පුද්ගලයෙකුට නියෝග කර තිබෙනවා. ඒ අනුව තමාගෙන් දික්කසාද වී සිටින බිරිඳට අමෙරිකානු ඩොලර් 7,700 ක මුදලක් ගෙවීමටයි අදාළ පුද්ගලයාට සිදුව ඇත්තේ.
ඒ ඔවුන් දෙපළ විවාහ වී සිටි කාලය තුළ බිරිඳ විසින් සිදුකරන ලද ගේ දොර වැඩකටයුතුවලට වන්දි මුදලක් ලෙසයි. කෙසේවෙතත්, ගෘහ සේවයේ වටිනාකම වෙනුවෙන් එම වන්දි මුදල ප‍්‍රමාණවත් ද යන්න සම්බන්ධයෙන් මේවනවිටත් සමාජ මාධ්‍ය හරහා දැඩි කථාබහක් මතුව තිබෙනවා.
උසාවි වාර්තාවලට අනුව, අදාළ පුද්ගලයා 2015 දී විවාහ වී ඇති අතර බිරිඳගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් ගොනු කර ඇත්තේ ඉකුත් වසරේදීයි. අදාළ කාන්තාව පළමුව සිය ස්වාමියාගෙන් වෙන්වීමට අකමැත්ත පළ කළත්, පසුව දික්කසාදය සඳහා කැමැත්ත පළ කර තිබුණේ වන්දි මුදලක් ද අපේක්ෂිතවයි.
සිය ස්වාමියා සමග විවාහ දිවිය ගතකරන කාලය තුළ ඔහු, ගේ දොර වැඩකටයුතු සහ දරුවන්ගේ වැඩකටයුතු කිසිවකට සහය නොදැක්වූ බවටයි බිරිඳ විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ.
බිරිඳ විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ජිවිතාන්තය තෙක් මාසිකව ඇයට යුවාන් 2,000 ක මුදලක් ගෙවන් ලෙසත්, ඇය විසින් කරන ලද ගෙදර වැඩ සඳහා යුවාන් 50,000 ක් වන්දියක් ලෙස එකවර ගෙවන ලෙසත් ස්වාමියාට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.