විහාර මහා දේවී උද්‍යානයේ තිබූ චිත්‍ර සහිත පුවරුව ඉවත් කලේ ඇයි.?

0
303

කොළඹ නෙළුම් පොකුණ අසල විහාර මහා දේවී උද්‍යානයේ ප්‍රදර්ශනයකර තිබූ චිත්‍රය එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් ඇඳ තිබූ චිත්‍රයක් එලෙස ඉවත් කිරීමට පියවරගෙන තිබු බව ඊට දායක වූ  වන සත්ත්ව හා ස්වාභාව ආරක්ෂක සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.

“අපි මේක කිසිදෙයක් බලාපොරොත්තුවෙන් කළ දෙයක් නෙමෙයි. ඒගේම කාටවත් අභියෝග කරන්න කරපු දෙයකුත් නෙමෙයි. මේකෙන් අපිට පෙන්නන්න ඕන වෙච්ච එකම දේ තමා අද ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධ දැනුවත් කිරීමේ දිනය. ඒ වෙනුවෙන් ලංකාවේ මේ විදිහට තමා අපි මේක කළේ.”

කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂීනි දිසානායක මහත්මිය පැවසුවේ අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද අට්ටාලයක මෙම චිත්‍රය රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් එය ඉවත් කිරීමට පියවරගත් බවය.

“නියමිත ආරක්ෂක උපදෙස් අනුව ඉදි කරලා නෑ. ලයිට් වලට ඉතාම ළඟින් මේක සකස් කරලා තිබුණේ. මහජනතාවගෙන් අපිට පැමිණිලි ආවා. විශාල ප්‍රමාණයක් මේ උද්‍යානය හරහා ගමන් කරනවා. මහජනතාවට පීඩාවක්වීම වැළැක්වීම වෙනුවෙන් අපි ඒක ඉවත් කිරීමට කටයුතු කළා.”

පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා අදාළ චිත්‍රය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සඳහන් කළේ, “මේ බැනර් එක ගහලා තිබුණේ පොලිසියේ කිසිම අවසරයක් නැතුව. බැනර් එකේ තිබුණ දේ ලස්සන වෙන්න පුළුවන්. ඒත් අවසර ගන්න අවශ්‍යයි,” යනුවෙනි.