චීනයේ නිෂ්පාදිත “සිනෝෆාම්“ එන්නත පළමුවෙන් මෙරට සිටින චීන ජාතිකයින්ට ලබාදීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඇය පෙන්වාදෙන්නේ චීන තානාපති කාර්යාලයේ ඉල්ලිමකට අනුව “සිනෝෆාම්“ එන්නත පළමුවෙන් මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීමට නියමිත බවය.
ප්‍රශ්නය – එන්නත් කරගන්න ජනතාවගේ පැමිණීමේ දුර්වලතාවයක් තියෙනවා කියන්නේ ඇත්තද ?
රාජ්‍ය ආමාත්‍යවරිය – “ නැහැ එහෙම කිසිම බයක් නැහැ. දැන් අපි ඔය එන්නත පසුගිය කාලයේ දුන්නේ අවුරුදු 60 වැඩි අයට ඒ දුන්නේ කලින් අර එන්නත් ලබාදීපු මධ්‍යස්ථානවල 30 සිට 60 දක්වා සහ 60ට ඉහළ ජනතාවට. ඒ ස්ථානවල පොඩි පැමිණිල්ක් තිබුණා. 30 ඉඳලා ජනතාවක් එක්ක එනකොට 60ට වැඩි සමහර අයට ගැටලු ඇති වුණා කියලා. ඒ නිසා අර මුල් හඳුනාගත් මධ්‍යස්ථානවල 60ට වැඩි ජනතාවට එන්නත් ලබාදීමට කටයුතු කෙරුවා. එතකොට ආවරණය කලින් වෙලා තිබුණ නිසා ඊට පස්සේ ආපු සංඛ්‍යාවේ පොඩි අඩුවක් තියෙනවා. හෙට දවසේ සිට වෙනත් ග්‍රාම නිලධාරී වසම්වල මේ එන්නත්කරණයට සූදානම් කරලා තියෙනවා 60ට වැඩි අයට දෙන්න. “
ප්‍රශ්නය – චීන එන්නතට WHO එකෙන් අනුමැතිය ලැබිලා නැහැනේ ද?
රාජ්‍ය ආමාත්‍යවරිය – ගොඩක් එන්නත් WHO අර හදිසි භාවිතය සඳහා තොරාගත් ඒවාට දීලා තියෙනවා. ඒවා දැන් පිරික්සමින් යන්නේ. එතකොට අපේ රටෙත් ඩොනේශන් එක භාර ගන්න තමයි දැනට අවසරය දීලා තියෙන්නේ. චීන රටේ ඒ “සිනෝෆාම්“ එන්නත එහි රට වැසියන්ට පාවිච්චි කරන නිසා මෙහි වාසය කරන චීන ජනතාවටත් එම එන්නත ලබාදීමට හැකියාව ලැබෙනවා.
“සිනෝෆාම්“ එන්නත මෙරට භාවිතය සදහා ඊයේ (20) දිනයේ දි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමි වුණි.