ශ්‍රී ලංකාව කඩුලු 3 ට 136 යි

0
300

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මෙරට වේලාවෙන් අද(31) අලුයම නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් කණ්ඩායම් දෙකටම හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 136ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට කොදෙව් පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 218ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 34ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර, ළහිරු තිරිමාන්න සිය 9 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 55කට දැවී ගියා.

ඔහු මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම් තුනේ දී ම මේ වන විට අර්ධ ශතක වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 18යි.

පන්දු යැවීමේ දී කෙමා රෝච්, අල්සාරි ජෝෂප් සහ ක්යල් මේයර්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩාමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සිය 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 126කට දැවී ගියේ හතරේ පහර 13ක් ඉනිමට එක්කරමින්.

රහ්කීම් කෝන්වෝල් ලකුණු 73ක්, ක්යිල් මේයර්ස් ලකුණු 49ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් කඩුලු 4ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිද හෙලුවා.