පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල අද දින පැවැත්වුණා.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා.
පාස්කු ඉරුදින එල්ල වු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් වැඩිම හානි සිදුවූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ද ඊයේ රාත්‍රීයේ සහ අද පෙරවරුවේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් දිව්‍ය යාගයන් සංවිධානය කර තිබුණා.
අද පෙරවරුවේ පැවති පාස්කු මංගල දේව මෙහෙයෙන් අනතුරුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි සිදුවු උත්ථාන වු ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථානය වටා විථි සංචාරය කළ අතර එම අවස්ථාව සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සහ ඥාතීන් එක්වුවා.