පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හෙළිදරව්වක්

0
311
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවට ගෙන සිටින නෞෆර් මවුලවී බවට හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

සරත් වීරසේකර මහතා මෙම අනාවරණය කරනු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව ද පැවසු අමාත්‍යවරයා, 2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය ගෙන ආ බවත් කියාසිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි ද කියා සිටියේය.

මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.