අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් වර්ජනය කර ඇතැයි වාර්තා වනවා. ඒ, අදාළ රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන්.
අද පෙරවරු 10 යි 30 ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර පවතින මතභේද ඉවත්කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහායි. එම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර තිබෙනවා.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත පක්ෂ ඇත්තේ 14 ක් පමණක් බවයි. සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වන නමුත්, මෙම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර ඇති බවත් එම අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව තම පක්ෂවල ගැටළු මෙම රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කර අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
උපුටා ගැනීම – nethnews.lk වෙබ් අඩවියෙනි.