නජ්මුල්ගේ මංගල ශතකය සමඟ පළමු දිනයේ සියලු ගෞරව බංග්ලාදේශයට

0
260

නජ්මුල් හුසේන් ශන්ටො වාර්තා කළ මංගල ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව තමන් සතු කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(21) සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වූයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 302ක් ලබා සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටින නජ්මුල් හුසේන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 126ක් ලබා සිටිනවා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

ටමිම් ඉක්බාල් සිය 29 වන ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළ අතර, ඔහු දැවී ගියේ ලකුණු 90ක් ලබා සිටියදීයි. ( 90 (101) 4×15 )

ඒ, විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ම සයිෆ් හසාන් ලකුණු නොලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ටමිම් ඉක්බාල් සහ නජ්මුල් හුසේන් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 144ක්.

ඉන් පසුව තෙවැනි කඩුල්ල සදහා නජ්මුල් සහ නායක මොමිනුල් හක් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 150ක්.

සිය 14 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ මොමිනුල් හක් නොදැවී ලකුණු 64යි.(4×6)

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තා.