රසායනික පොහොර ආනයනය නතර කිරීමේ තීරණයක්

0
399

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකි උවත් වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළය. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

ඊයේ (22) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතුය. පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් කරන බව ජනාධිපතිතුමා කියා සිටී.

වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.