කොවිඩ් මධ්‍යයේ ඉන්දියාවේ බල පෙරළියක්

0
328

කොවිඩ් අර්බුදය මධ්‍යයේ මෝදිගේ පක්ෂය මැතිවරණ පොරපිටියෙන් පරාජය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසංගතයේ ව්‍යාප්තිය පාලනයට රට ලොක්ඩවුන් කරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ට මේ වනවිට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බවය.

මැතිවරණ අවසන් වී තිබීම හේතුවෙන් රටේ වත්මන් වසංගතය ගැන  සාකච්ඡා  කිරීමට අගමැති මෝදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී ඇති බවත් අද වාර්තා විය.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ පැවති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණය නිමාවට පත්වුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ බල පරාක්‍රමයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි.

ඇසෑම්, කේරල, තමිල්නාඩු , බටහිර බෙංගාල  ප්‍රාන්තවල සහ පුදුචෙරි විශේෂිත ප්‍රදේශයේ අදියර කිහිපයකින් පැවති මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවූයේ ඇසෑම් ප්‍රාන්තයේ පමණයි.

භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඇසෑමයේ බලය රැක ගත්ත ද සෙසු ප්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය.

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි වී තිබේ.

කොවිඩ් අවදානමද නොතකා ජයග්‍රහනය ඉලක්ක කරමින් භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබුණි.

ප්‍රාන්තයේ දැවැන්ත මැතිවරණ රැලි සංවිධානය වුණේ වසංගතයට වඩා මැතිවරණවලට ප්‍රමුඛතාව ලබාදෙන බවට අගමැතිවරයාට එල්ල වන විවේචනයද නොතකමින්ය.

කෙසේවෙතත් අගමැති මෝදිගේ දැඩි විවේචකයෙකු මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයක් දරන එකම කාන්තාව ද වන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය.

කෙසේවෙතත් විචාරකයින් පවසන්නේ මෙවර ඇයගේ ජයග්‍රහණයට වසංගතය පාලනය කිරීමට රජය අසමත් වීම ප්‍රධාන හේතුවක් වූ බවය.

අගමැති මෝදිගේ නායකත්වයට අතුල් පහරක් එල්ල කරමින් බටහිර බෙංගාලය රට බේරාගෙන ඇති බවත්  වසංගතයට එරෙහි සටනට ප්‍රමුඛතාවය දෙන බවත් ඇය පවසා තිබේ.

ඉන්දියාවේ පවතින කොවිඩ් අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේදැයි සොයා එම ප්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂයට ලක්ව තිබුණි.

රටට මහා විනාශයක් සිදුකළ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ජනතාව පාලකයන්ට දැඩිව දොස් පැවරුවත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් විමත් සමග ජනතාවට සිය පුරවැසි වගකීම් අමතක වී ඇති ආකාරය දක්නට ලැබුණි.

ඒ ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව ජයග්‍රාහී සැමරුම් උත්සව තහනම් කර තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මැතිවරණයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ජය හිමිවූ එම්.කේ. ස්ටාලින් ගේ නායකත්වයෙන් යුත් ඩී.එම්.කේ පක්ෂයේ ජය සැමරීමට පාක්ෂිකයන් එක්ව සිටියේ වසංගතය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින්ය.