චීන රොකොට්ටුවේ කැබලි ශ්‍රී ලංකාවට කඩා වැටිමේ අවදානමක්.?

0
458

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත.

රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාමෙන් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකිනි.

වායු ගෝලයට ඇතුළු වන රොකට් කැබැල්ල මූදට වැටුණහොත් එයින් කාටවත් අනතුරක් සිදු නොවන අතර, එය ගොඩබිම ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත.

එහෙයින් ඒ ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමට ද නාසා ආයතනය පියවර ගෙන තිබේ.

පොළොවට කඩා වැටීමට නියමිතව ඇත්තේ, මීට දින කීපයකට පෙර චීනය යැවූ රොකට්ටුවක කොටසකි.

චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතී. එය 2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි.

කඩා වැටෙන්නේ Long March 5B රොකට්ටුවට අයත් ටොන් 21 කට වඩා බරින් යුත් මීටර් 30 ක් පමණ දිග රොකට්ටුවේ බූස්ටර් කොටසය.

මෙම කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වී තිබේ. එය පසුගිය දිනකීපය පුරා පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණු අතර දැන් එය පෘථිවි වායුගෝලයට පිවිසීමටත් ගිනිගෙන දැවෙමින් යළි පෙළොවට ඇදී ඒමටත් නියමිතය.

වසර 30 කට පසු පොළොවටය පතිත වන දැවැන්තම රොකට්ටු කැබල්ල මෙය යැයි නාසා ආයතනය කියයි.

රොකට් කැබැල්ලේ ගමන් දිශාව පිළිබඳ චීනය, ඇමෙරිකාව, රුසියාව සහ යුරෝපා රටවල් මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

මෙම රොකට්ටුව ගමන් කළ මාර්ගය වරින් වර ශ්‍රී ලංකාව අසලින් පවතින බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ.