ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ගුවන් හමුදා⁣වෙන් ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

0
354
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ “තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය” නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට භාවිත කිරීමට ගුවන් හමුදාව නිෂ්පාදනය කළ මෙම ඒකකය ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත එලෙස භාර දී ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

පූර්ණ ආර්ධතාව සහිත අධිධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කර ඇත.

සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි, ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරෙනු ඇති.

මෙම උපකරණ කට්ටලය භාර දීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.