යුද විජයග්‍රහණයට වසර 12 ක් සපිරෙයි – සැමරුම් උලෙළ හෙට

0
396

1975 ජූලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය, 1983 දී LTTE ත්‍රස්තවාදීන් හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමග ඇතිවූ කලු ජූලිය මෙරට තිස් වසරක් පුරා පැවති යුද්ධයේ ආරම්භක අවධියයි.

ඉන් පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ LTTE ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයන්, රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන් පමණක් නොව සිවිල් වැසියන් දහස් ගණනින් අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත් වෙමින්.

අවස්ථා කිහිපයකදීම සටන් විරාම සහ සාම සාකච්ඡාව පැවැත්වූව ද ඒ සියල්ල බිද වැටුණා.

යුද්ධයේ අවසානය සටහන් කළ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වූයේ ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමට එල්ටීටීඊය ක්‍රියා කිරීමත් සමගින්.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ මඟපෙන්වීම යටතේ සහ එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාෆෝස් රොෂාන් ගුණතිලක කොටි ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කලා.

ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා පොලිසියෙන්ද ලැබුනේ නොමද සහයෝගයක්

දමිල ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට යුද්ධයට ජයග්‍රහණය කලේ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද සාර්ථකව ජය ගනිමින්.

තිස් වසරක සාපලත් යුද්ධයෙන් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදා ගත් ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ වීරත්වයත්, මානුශීය භාවයත් අප හදවත් තුළ සදා නොමැකෙනු ඇත.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ LTTE ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පුදනු ලැබීය.