ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනා නිදොස්කොට නිදහස්

0
451

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබා දී ඇත.

නිදොස් කොට නිදහස් කරනු ලැබූ සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාල නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.

එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී.ප්‍රේමචන්ද්‍රන් නමැත්තා නඩු විභාගය අතරවාරයේ මියගොස් තිබුණි.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.