ගාසා දරුවන් ජීවත් වෙන්නේ අපායක – අවශ්‍ය මූලික පහසුකම් වත් නෑ

0
410

ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කරන ප්‍රහාරවලින් නිරන්තරයෙන් බැටකන ගාසා තීරය මිහිපිට අපායක් බවත්, එම ප්‍රදේශයේ ජීවත් වන ගාසා දරුවන්ගේ තත්ත්වය ඛේදනීය බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසනවා.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයකට යෑම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ගාසා තීරයේ පලස්තීන දරුවන් මුහුණ දෙන ඛේදවාචකය ගැන මහ ලේකම්වරයා ලෝකය දැනුවත් කළේ ඉතා හැඟීම්බරවයි.

‘පසුගිය දින 11 තිස්සේ පැවැති ගැටුම්වලින් 233 දෙනකු මියගියා. ඔවුන්ගෙන් 60 කට වඩා වැඩි පිරිසක් වන්නේ කුඩා දරුවන්. ඊශ්‍රායල පලස්තීන ගැටුමට පැහැදිලි විසඳුමක් ලබා දීමට අප කිසිවකු සමත් වී නැහැ.

දෙපාර්ශ්වය අතර විරසකය ගිනිපුපුරු මෙන් සැඟවිලා. ගැටුමට අවසානයක් නැහැ. යළි ගැටුම් ඇතිවේවි. සිවිල් වැසියන් මියයාවි, දරුවන් මියයාවි.’ යැයි ජගත් මහලේකම්වරයා වැඩි හුරටත් පැහැදිලි කළේය.

ගාසා දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබෙන බවත්, ඔවුන්ට අවශ්‍ය මූලික සෞඛ්‍ය පහසුකම් පවා නොමැති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

මේ අතර ගැටුම් නිසාත්, කොරෝනා වසංගතය නිසාත් පීඩාවට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් කඩිනමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 7 ක ආධාර ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.