ඊයේ පැවති බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය නිමා වූයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට යලිත් පරාජයේ අමිහිරි අත්දැකීම් අලුත් කරමින්.
ඒ වනිඳු අසරංග හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වීමෙ හේතුවෙනි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමේ අංක අට පිතිකරුවා ලෙස පැමිණ විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ වනිඳු හසරංග මෙම තරගයේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබේ.
එහිදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අනුකම්පා විරහිත ඉනිමක් දියත් කරමින් පන්දු 60 කදී ලකුණු 74ක් රැස්කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙත යම් බලාපොරොත්තුවක් එක් කරමින්.
ඔහුගේ එම වේගවත් ඉනිම හයේ පහරවල් 5 කින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් විය.
එම විශිෂ්ඨ ඉනිමත් සමග ලෝක එක්දින ක්‍රිකට් පිටියේ අංක 8 හෝ ඊට පහළ ස්ථානයක පන්දුවට පහර දීමට පැමිණ ලකුණු 70 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් අඛණ්ඩව දෙවතාවක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට වනිඳු සමත්වුණා.
ඔහු මීට පෙර අවසන් වරට ක්‍රීඩා කළ ඉනිමේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 60 කදී ලකුණු 80 ක් නොදැවී රැස් කර තිබුණි.
කෙසේ වෙතත් එම තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33 ක ජයක් හිමි වූ අතර, දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට(25) පැවැත්වීමට නියමිතයි.