ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය ඉතිහාසයේ පළමු තරගාවලි ජය ලබයි

0
366

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 103 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ(25) සමත් විය.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම තරග රටාවකින් ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණයයි.

තරගයේ කාසියේ දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 48.1 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 246කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියේ 8 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 125 ක් රැස් කළේ පන්දු 127කිනි. මහ්මුදුල්ලා ලකුණු 41 යි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ කඩුලු 9 කට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 141 ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 24ක්, පැතුම් නිස්සංක ලකුණු 20ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 15ක්,අශේන් බණ්ඩාර ලකුණු 15ක්, දසුන් ශානක ලකුණු 11ක්, ධනංජය ද සිල්වා ලකුණු 10ක්, වනිදු හසරංග ලකුණු 6කටත් දැවී ගියා. ඉසුරු උදාන හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුනා.

ඉනිමේ 38 වන පන්දුවාරය අවසන් වීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 40කට සීමා කෙරුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා ලකුණු 245ක ඉලක්කයක් හිමි කර දෙමින්.

ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 9කට ලකුණු 141ක් ලෙස සටහන් වූ අතර බංග්ලාදේශ කණ්ඩායමට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 103 ක ජයග්‍රහණයක් හිමි විය.

පන්දු යැවීමේ දී යළිත් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ මෙහිදි හසාන් මිරාස් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 28ක් ලබා දී කඩුලු 3ක් දවා ගත් අතර මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 16කට කඩුලු 3ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්හ.