ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
මීගමුව, කොච්චිකඩේ, පමුණුගමුව, දුන්ගල්පිටිය පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස්වී එම භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
නිරෝධායන රීති කඩ කිරීම සහ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීමට නියමිතයි.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් මුහුදේ නැංගුරම් ලා තිබූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න පාලනය කිරීමට තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
නෞකාවෙන් මුහුදට වැටෙන කොටස් පාවී ඒමේ වැඩි ප්‍රවණතාවයක් ඇති දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි මේ වනවිට විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයෙහි ද නාවික හමුදාව මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙයි.
“එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ අපද්‍රව්‍ය යම්කිසි ප්‍රදේශයකට එක්රැස් වී ඇත්නම් ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.