මේ පරාජය දරාගන්න අමාරුයි – සනත් තැබූ සටහන

0
562

බංග්ලාදේශය හමුවේ එක්දින තරගාවලියක් පරාජය වීම, හිටපු නායකයකු මෙන්ම ක්‍රීඩකයකු ද වශයෙන් තමාට දරාගත නොහැකි වේදනාවක් බව සනත් ජයසූරිය මහතා පවසයි.

හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු, හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායකයෙකු ද වන ජයසූරිය මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (25) පැවති අතර ඉන් ලකුණු 103 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

මෙම තරඟ පරාජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 50 ක් පැවැත්වී තිබේ. ඒවායින් තරග 39 ක ජය ශ්‍රී ලංකාව සතුවන අතර පරාජය වී ඇත්තේ තරග 9 ක් පමණි. තරග දෙකක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ද්විපාර්ශ්වික තරගාවලියකදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

“හිටපු ක්‍රීඩකයකු වගේම නායකයකු ලෙසත්, බංග්ලාදේශයට එරෙහිව ලැබූ මේ පරාජය මට දරාගන්න අමාරුයි. කොල්ලනි…. අපේ ජාතික අභිමානය අනතුරේ. අවසන් මොහොත වෙනකම් සටන් කරපල්ලා” යයි සනත් ජයසූරිය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණි,

තරඟාවලියේ මුල් තරඟ 2ම ජයගත් බංග්ලාදේශ කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුපිරි ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පත්ව තිබේ

ඒ තරග 8 කින් ප්‍රසාද ලකුණු 50 ක් ලබාගනිමිනි. එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේ තරග 5 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග සියල්ලම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයේ (12 වැනි ස්ථානය) පසුවෙයි.