2020 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ නාවික හමුදා වෙඩික්කාරිය

0
129

ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව සමත්ව තිබේ.

2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසකම් ලැබු තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි.

ටෙහානි එගොඩවෙල ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්තේ කාන්තා මීටර 10 ඉලක්කයට වෙඩි තැබීමේ රයිෆල් ඉසව්වෙනි.

ඇය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් හිමිකරගෙන ඇති ක්‍රීඩිකාවකි.

මීට පෙර අශ්ව රෝහක ඉසව්වෙන් මැතිල්ඩා කාර්ල්සන් සහ ජිම්නාස්ටික් ඉසව්වෙන් මිල්කා ගෙහානි ටෝකියෝ ඔලිම්පික් උලෙලට සුදුසුකම් ලබා ගත්හ.

2011 වසරේ සිට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරනු ලබන නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, 2012 වසරේ සිට ජාතික වෙඩි තැබීමේ සංචිතය නියෝජනය කරමින් හත් වතාවක් (07) ශ්‍රී ලංකාවේ හොඳම වෙඩික්කාරිය ලෙස තෙරී පත් වී ඇත.

මීට අමතරව මෙරට නියෝජනය කරමින් විදෙස් තරගාවලි රැසකට සහභාගි වී විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කර තිබේ. ඇය 2018 වසරේ සිට කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියනු ලබන අතර, 2019 වසරේ සිට කාන්තා තුන් ඉරියව් මීටර් 50 රයිෆල් 0.22 ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

2016 වර්ෂයේ ඉන්දියාවේදී සහ 2019 වර්ෂයේ නේපාලයේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලයන්හීදී කාන්තා මිටර් 50 රයිෆල් 0.22 කණ්ඩායම් ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වු ඇය, 2019 කටාර් හි පැවැත් වු කාන්තා මිටර් 50 රයිෆල් 0.22 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමිකර ගන්නා ලදී.

ඇයගේ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් ඉදිරියෙන් සිටීම නිසා මෙලෙස 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබිණි.