ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයේ ගිවිසුම් අත්සන් නොකිරීමේ තීරණයක්

0
122

ඉදිරියේ පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ T20 සංචිතයේ ක්‍රීඩකයින් එම සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කරයි.

ඒ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේනව ක්‍රමවේදයේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන්

එකී නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයේ පවතින විනිවිදභාවය පිළිබද ගැටලුවලට පිළියම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් එසේ ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කළ බවයි ක්‍රිකට් ක්‍රීඩකයින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් විසින් තම නියෝජිත ලෙස පත් කරන ලද නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අද (5) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ක්‍රීඩකයින් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම ඉදිරියේ දී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

එංගලන්ත සංචාරයට එක් නොවන ක්‍රීඩකයින් ද ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු සංචාරයකට අදාළ සංචාර ගිවිසුම්වලට අත්සන් නොකිරීමට තීරණය කර ඇත.

මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයින් පිළිබදව ද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොතැබීමට ක්‍රීඩකයින් තීරණය කර ඇත.

විනිවිදභාවයේ ගැටලුමත අසාධාරණ සහ පදනම් විරහිත ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වා දෙයි.

ගිවිසුම් අත්සන් නොකළ පදනම මත ක්‍රීඩකයින්ට වැටුප් නොගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ විටක වුවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බවත්, මන්ද තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයින්ගේ පළමු සහ එකම අභිප්‍රාය බවත් එහි වැඩිදුරටත් සදහන්.