බ්‍රිතාන්‍ය රජ පවුලට දූ කුමරියක් – ලිල්බට් ඩයනා ලෙස නම් තබයි.

0
265

රජ පවුලෙන් වෙන්වී ඇමෙරිකාවේ ජීවත් වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිඳ මෙගාන් මාකෙල්ට දෙවැනි වරටත් මවු පදවිය උරුම වී ඇත.

හැරී මෙගාන් යුවළට අලුත උපන් දියණිය ලිල්බට් “ලිලී” ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් යනුවෙන් නම් තබා ඇත.

සසෙක්ස් ආර්යාව යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන මෙගාන්, දියණිය ප්‍රසූත කර ඇත්තේ පසුගිය 4 වැනිදා ඇමෙරිකාවේ වේලාවෙන් උදේ 11.40 ට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ සැන්ටා බාබරා රෝහලේදී වන අතර රෝහල් ආරංචි මාර්ග අනුව බිලිඳියගේ උපන් බර රාත්තල් 7 කි.

මව මෙගාන් සහ අලුත උපන් දියණිය ලිලී යහතින් පසුවන බවත්, ඔවුන් මේ වනවිට ඔවුන්ගේ නිවසේ සිටින බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

දියණිය ලිලී යනුවෙන් නම් කිරීමට හේතුව දෙවැනි එලිසබත් මහ රැජිනට ගරු කිරීමක් ලෙස බවත්, ඩයනා නම යෙදීමට හේතුව තම මව ඩයනා සිහි කිරීමක් ලෙස බවත් හැරී කුමරු පවසා තිබුණේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි.

පුංචි ලිලී ට වැඩිමල් සොහොයුරෙක් සිටින අතර ඔහු වයස අවුරුදු දෙකක වන ආර්චි හැරිසන් වේ.

අලුත උපන් ලිල්බට් ‘ලිලී’ ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර්, දෙවැනි එලිසබත් මහ රැජිනගේ 11 වැනි මී මිණිබිරිය වන අතර එක්සත් රාජධානියෙන් පිටත උපත ලැබූ රැජිනගේ මුනුබුරු මිනිබිරියන්ගෙන් පළමුවැන්නා ය.

ඇය බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන අට වැනියා ද වනු ඇත. ඇගේ උපතත් සමඟ ඇන්ඩෲ කුමරුට ඒ සඳහා පවතින ස්ථානය 9 දක්වා පහත වැටෙනවා.