මෙල්බන් නුවරට ඩෙල්ටා ප්‍රබේදය රැගෙන ගිය ශ්‍රී ලාංකිකයා

0
339

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි පුද්ගලයෙකුගෙන් බව අනාවරණය වී ඇත.

ඉන්දියාවෙන් හඳුනා ගනු ලැබූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟ මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයකට වසා දැමීමට සිදුවිය.

නව පොකුරේ ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මස 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හරහා එම පොකුර නිර්මාණය වී ඇති බවයි.

40 හැවිරිදි අදාළ පුද්ගලයා එරටට පැමිණි දිනයේ සිදුකළ පරීක්ෂණයක දි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇත්තේ පසුගිය මස 23 වෙනදායි.

මෙල්බර්න් ඩෙල්ටා කොවිඩ් පොකුරේ ආරම්භය එම පුද්ගලයාගෙන් සිදුවු බවට විද්‍යාත්මකව තහවුරු වුවද වෛරසය බාහිර පුද්ගලයින් වෙත සම්ප්‍රේෂණය වු ආකාරය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.