ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට – මතයේ වෙනසක් නැතැයි පොහොට්ටුවේ ලේකම් කියයි

0
192

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට හෙට (18) බාරදෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 22 නෙකු ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වේ.

අදාළ විශ්වාසභංග යෝජනාව මගින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ගණන 10කි.

ඒ අනුව, ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම්වරයා විසින් ලිඛිතව සඳහන් කර ඇති පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව උදය ගම්මන්පිල විසින් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලඝනය කිරීම,ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉතා අධික ලෙස පහළ වැටුණු වසර එක හමාරක කාලය තුළ ඛනිජ තෙල් සංස්ථාව ලැබූ ලාභය පාර්ලිමේන්තුවට සහ ජනතාවට වසන් කිරීම,

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල අඩුවීම මත අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකරමින් ජනතාවට ලබා දෙන බවට දුන් පොරොන්දුව ඉටු නොකිරීම,ඉන්ධන මිල ස්ථාවර කිරීම සඳහා පිහිටුවූ අරමුදලට කුමක් සිදු වූයේද යන්න පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීම,

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියලු‍ පාරිභෝජන භාණ්ඩ මිල ඉහළ යාමෙන් කොවිඩ් උවදුරෙන් පීඩාවට පත් ජනතාව තවදුරටත් ආර්ථික වශයෙන් පීඩාවට පත්වීම යන කරුණු ඊට ඇතුළත්.

මේ අතර, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකට එක්වීම සඳහා පැමිණි එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තමන් යොමුකළ ලිපිය පිළිබඳ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.