ගුණතිලක 98(52) – කුසල් පෙරේරා 95(55)
– කුසල් ජනිත්ගේ කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

0
79

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ මැන්චෙස්ටර්හිදී පැවැතුණා.

ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර 20යි 20 තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කණ්ඩායම් දෙකට නායකත්වය දෙනු ලැබුවේ කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් විසින්.

මෙම තරගයෙන් කුසල් ජනිත්ගේ කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ඨ ජයක් හිමි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ‘මෙන්ඩිස් කණ්ඩායම’ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 219ක් ලබා ගනිමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 52කින් ලකුණු 98ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32(16)ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 42(31)ක් සහ දසුන් ශානක ලකුණු 30(20)ක් රැස් කලහ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 18කට එක් කඩුල්ලක් ද, චාමික කරුණාරත්න ලකුණු 36කට එක් කඩුල්ලක් ද, ඉසුරු උදාන ලකුණු 48කට එක් කඩුල්ලක් ද බිද හෙලීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුසල් ජනිත්ගේ කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ධනුෂ්කගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 50කින් වේගවත් ලකුණු 95ක් වාර්තා කළ අතර ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 50ක්(34) ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළහ.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 32(22)ක් සහ වනිදු හසරංග ලකුණු 25(10)ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වු අතර පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර, අකිල ධනංජය ලකුණු 40කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.