ශ්‍රී ලංකා එංගලන්ත පළමු විස්සයි විස්ස ගැටුම අද – තරග ඇරඹෙන වේලාව සහ නැරඹිය හැකි නාලිකා මෙන්න

0
162

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කාර්ඩිෆ් හිදි අද(23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වනවා.

පිතිකරුවන් හයදෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ පන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද තරගය ක්‍රීඩා කරන බවයි නායක කුසල් ජනිත් පෙරේරා පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්ස තරග 3ම පරාජයට පත්ව තිබෙන අතර ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව අවසන් වරට පන්දුවාර විස්ස තරගයක් ජයග්‍රහණ කර ඇත්තේ 2014 වසරේදීයි.

එමෙන්ම 2014 වසරෙන් පසුව එංගලන්තයට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව නොමැති අතර ඔවුන් අද තරගයට පිවිසෙන්නේ වසර 7කට පසු එංගලන්ත පිලට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් ජයක් අපේක්ෂාවෙන්.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 9ක්. ඉන් තරග 5ක් එංගලන්තය ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකා පිල තරග 4ක් ජය ගැනීමට සමත් ව ඇත.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේයි.

ප්‍රථම විස්සයි විස්ස තරග දෙක කාර්ඩිෆ්හීදී පැවැත්වෙන අතර තෙවන විස්සයි විස්ස තරගය සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන අතර තෙවැනි 20යි 20 තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ වනු ඇති.

එංගලන්තය ශ්‍රී ලංකාව අතර ප්‍රථම එක්දින තරගය චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ද, දෙවන එක්දින තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පස්වරු 05.30 ට ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය බ්‍රිසටල්හී දී පස්වරු 3.30 ට ආරම්භ වනු ඇති.

එංගලන්ත තරග සංචාරයේ මෙරට නිල රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවටයි.

PEO TV ඔස්සේ Ten cricket නාලිකාව හරහා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට හිමිවනවා.

Dialog TV පාරිභෝගිකයින්ට Ten Cricket සහ Channel ONE යන නාලිකා ඔස්සේ තරගාවලිය නැරඹිය හැකියි.