සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
කාර්ඩිෆ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 129ක් පමණයි.
ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19කටත්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියා.
නායක කුසල් පෙරේරා ලකුණු 30යි, දසුන් ශානක පන්දු 44කින් ලකුණු 50ක් රැස් කළේ ශ්‍රී ලංකා ඉනිම යම් ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයකට ඔසවා තබමින්. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේ දී සෑම් කරන් සහ අඩිල් රෂීඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
ආරම්භක කඩුල්ල සදහා ජොස් බට්ලර් සහ ජේසන් රෝයි ලකුණු 80ක සබදතාවයක් ගොඩ නැගූ අතර රෝයි ලකුණු 36කට දැවී ගියා. බට්ලර් පන්දු 55කින් නොදැවී ලකුණු 68යි.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිද හෙලුවා. වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී ලබා දුන්නේ ලකුණු 12ක් වීම විශේෂත්වයක්.
මේ අතර දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ දෙවන තරගය අද(24) කාර්ඩිෆ්හී දී ම පැවැත්වීමට නියමිතයි.