ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක් – පිරිනැමීම 6 වැනිදා අන්තර්ජාලය ඔස්සේ..

0
204

ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ”2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය” හිමිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය පවසයි.

2021 අනාගත ප්‍රතිපත්ති සම්මාන උළෙලේ ශ්‍රී ලංකාවට හිමි සම්මානය හා වෙනත් ජයග්‍රාහී ප්‍රතිපත්ති සදහා සම්මාන පිරිනැමීම ලබන 6 වැනිදා අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරන වඩාත් ඵලදායී ප්‍රතිපත්ති මෙම සම්මාන ප්‍රදානයේදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

ලොව මෙතෙක් අත්කර ගෙන ඇති සියදිවි නසාගැනීම් අනුපාතයෙහි විශාලතම අඩුවීමට ශ්‍රී ලංකාවේ ඉහත සඳහන් ප්‍රතිපත්ති දෙක හේතු වී ඇති අතර එමඟින් වසර 20ක කාලයක් තුළ එක් ජීවිතයක් සඳහා සෘජු රජයේ වියදම ඇමරිකානු ඩොලර් 50 ටත් අඩු මුදලකට ජීවිත 93,000 ක් පමණ බේරාගෙන ඇත.

ලෝක අනාගත කවුන්සිලය ප්‍රදානය කරනු ලබන මෙම ත්‍යාගය, මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, ජාත්‍යන්තර රසායනික කළමනාකරණය සඳහා උපායමාර්ගික ප්‍රවේශය ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, එක්සත් ජාතීන්ගේ පුහුණු හා පර්යේෂණ ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව, මයිකල් ඔටෝ පදනමේ සහ ජුවා පදනමේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලැබේ.

මෙම සම්මාන ප්‍රදාන උළෙලට සහභාගී වීමට සහ 2021 අනාගත ප්‍රතිපත්ති සම්මානය සඳහා වන ජයග්‍රාහී ප්‍රතිපත්ති පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා www.worldfuturecouncil.org/chemicals වෙත පිවිසෙන්නැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දන්වා සිටී.