ශ්‍රී ලංකා කණ්ඩායමට වැස්සෙන් ලැබුණු සහනය – ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට

0
341

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ(4) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර තීරණය කිරීමත් සමගින්.

බ්‍රිස්ටල්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 41.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර, වනිදු හසරංග ලකුණු 20කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටොම් කරන් කඩුලු 4ක් බිද හෙලූ අතර, ක්‍රිස් වෝක්ස් සහ ඩේවිඩ් විලී අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ජයග්‍රහනයක් ලබා ගැනීමට නොහැකි වෙමින් නිමා වුණා.

එහෙත් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට ඊයේ(4) හැකි වුණා.

ඒ, මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදුවීමත් සමග ප්‍රසාද ලකුණු 5ක් හිමි වීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායම් 13ක් තරග කරන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කර එක් ජයග්‍රහනයක් පමණක් ලබා ඇති අතර, පරාජය වූ තරග ගණන 7ක් වන අතර ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13ක්.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 65ක් හිමි කර ගනිමින්.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශ කන්ඩායම තරග 9කදී ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය තුළින්.

එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 7, ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.