සංචාරක ඉන්දීය කණ්ඩායම සමග එක්දින සහ විස්සයි 20 තරගාවලියකට මුහුණ දීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයෝ සියලු දෙනාම අද (11 වැනිදා) පැවැති පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් සමත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සවස් වරුවේදී හෝ හෙට දින සිට නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානමින් සිටියි.
එංගලන්තය සමග තරගාවලියකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 6 වැනිදා දිවයිනට පැමිණි අතර එතැන් සිට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ නිරෝධායනය වෙමින් සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වූ ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට සහ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන් මහතාට කොරෝනා වයිරසය අසාදනය වූ බවට හඳුනා ගැනුනේ ඉන් පසුවයි.
මේ හේතුවෙන් කණ්ඩායමේ පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවන ලද අතර ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් නවාතැන් ගෙන සිටි කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටල වෙත මාරු කරන ලදි.
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනකු සමග පුහුණු කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් සමග අනෙක් නිලධාරීහුද සිටිති.
ඒ අනුව එක්දින තරග තුන ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සදහන් කළා.
හෙට සිට පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර ලැබුණ ද, ඔවුන්ට පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් නොමැතිව සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සිදු වනු ඇති.