වීර හසලක ගාමිණී රට දැය වෙනුවෙන් දිවි පුදා වසර 30යි

0
342

රට දැය වෙනුවෙන් දිවි පරදුවට තැබූ හසලක ගාමිණී දැයෙන් සමුගෙන අදට වසර 30ක් සපිරෙනවා.

පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ කොටි ත්‍රස්තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක් සිය ජීවිතය පූජා කරමින් වැළැක්වූ මෙම විරුවා සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගනීමට සමත් වුණා.

1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූ අතර හසලක ප්‍රදේශයේ ගොවියකු වූ වයි.බී. බබානිස් ගාමිණීගේ පියා ය.

සාමාන‍ය සෙබළකු ලෙස සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස් කෝප්රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.

ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා ගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනිදාය.

මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා “පරම වීර විභූෂණ” සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්ද ඉදි කරනු ලැබූ අතර ඉන් එකක් ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර ඇත.

රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයටද මහත් අභිමානයකි.