නිවස අහිමිවන රන්ජන්ට චන්දිමාල්ගෙන් නිවසක්

0
174

සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තමාට හිමි නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත් කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇත. ඒ සඳහා ලබා දී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිතයි.

එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් අද(15) පවසා ඇත.

රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත්, මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

රාමනායක මහතාට නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බව ද ඔහු වඩිදුරටත් ප්‍රකාශ කර ඇත.