විස්සයි 20 ලෝක කුසලානයට යෑමට පෙර ලංකාවට ලැබෙන අභියෝගය

0
158

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ කර ඇති ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද(16) නිවේදනය කර තිබේ.

2021 මාර්තු 20 වනදා වනවිට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පළමු කණ්ඩායම් 8, කණ්ඩායම් 4ක් ලෙස කාණ්ඩ දෙකක ට බෙදා ඇත.

එම කණ්ඩායම් වන්නේ, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, සහ ඇෆ්ඝනිස්තානය වේ.

පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වදින අතර ඉන්දියාව, පකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය තරග වදින්නේ දෙවැනි කාණ්ඩයෙනි.

ලෝක 20 යි 20 ක්‍රිකට් ශූරතාවලියට කණ්ඩායම් 12 ක් එක්වීමට නියමිත අතර ඉතිරි කණ්ඩායම් 4, කණ්ඩායම් 8ක් අතර පැවැත්වෙන මුලික තේරීම් වටයකින් අනතුරුව තෝරාගැනේ.

එම කණ්ඩායම් 8 වන්නේ, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය වේ.

ඉන් ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, සහ නැමීබියාව “ඒ” කාණ්ඩය යටතේ තරඟවදින අතර බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියාව, සහ ඕමානය “බී” කාණ්ඩය යටතේ තරඟ වැදීමට නියමිතයි.

ඉන් එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් දෙක බැගින් අවසාන තරඟාවලියට සුදුසුකම් ලබන අතර එම සටහන පහතින් දක්වා ඇත.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එය සංවිධානය කරනු ලබන ලෝක විස්සයි 20 ක්‍රිකට් ශූරතාවලිය, කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් “ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වනදා” දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.