ඉන්දු ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

0
274

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(20) පැවැත් වීමට නියමිතයි.

අද තරගය දිවා රාත්‍රී තරඟයක් ලෙස පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අර්හර පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක පරාජයක් ලැබීම හේතුවෙන් තරගාවලිය පරාජය නොවී සිටීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

දෙවැනි තරගය සදහා බොහෝ විට ඉසුරු උදානට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙන්නේ ඔහු පළමු තරගයේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන්.

පළමු තරඟයේ ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 301 න් පන්දු 159 ක් නිලකුණු පන්දුව වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ තනි ලකුණු 98 ක් විය. මෙම දත්ත එක්කළ කල්හි පන්දු 257 කින් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගෙන තිබුණේ ලකුණු 98 ක් පමණි.

පිතිකරණයේ දී මැදපෙල පිතිකරුවන් වැඩි නිලකුණු පන්දු සංඛ්‍යාවක් ලබා දීම නිරතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වන බරපතල වරදක් බැවින් එය සකස් කර ගැනීම දෙවැනි තරගය ජය ගැනීමටනම් අතිශය වැදගත් වනු ඇති.

එමෙන්ම පන්දු රැකීම සම්බන්ධයෙන් ද යළි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිතා බැලීමට සිදුව ඇත්තේ පළමු තරගයේ දී පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීමක් ප්‍රදර්ශනය කළ බැවිනි.

මේ වන විට ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග 10 න් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණක් වන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දැනට සිටින්නේ කණ්ඩායම් 13 කින් 12 වැනි ස්ථානයේය.